Pages

Thursday, September 28, 2023

නැලවිලි කවි


දොයි දොයි දොයි දොයිය        බබා
බයි බයි බයි බයිය                   බබා

නුඹෙ අම්මා කිරට                  ගියා
කිරි එරවා එන්න                    ගියා
කිරි මුට්ටිය ගඟේ                   ගියා
ගඟ දෙගොඩින් ගලා              ගියා

අතට වෙරළු ඇහිද             ගෙනේ
ඉණට පලා නෙළා             ගෙනේ
බරටම දර කඩා                 ගෙනේ
එයි අම්මා                   විගසකිනේ

බාලොලි ලොලි          බාලොලියේ
බාල පුංචි ළමයින්                   නේ
අම්මා කොයිදෝ               ඉතිනේ
නිම්මාවක් නැත               උන්නේ

නුඹට පුතේ කවුරු                 තැලූ
ගම්මැදිවල ළමයි                   තැලූ
ඇයි ළමුනේ පුතුට                 තැලූ
අපිට තැලූ අපිත්                    තැලූ

දැතේ වළලුත්                 නැතිදෝ
දෙපයේ ගිගිරිත්               නැතිදෝ
අම්මා දැන් එයි               හණිකෝ
නාඬන් සුරතල්              මැණිකෝ

පුතේ නුඹේ ලොකු             අම්මා
අතේ වළල්ලක්                 දැම්මා
නැතේ අගය එහි               නිම්මා
පුතේ නාඬ                   නිදියම්මා

අත්තක පිපි මලක්            ලෙසේ
මුද්දක බැඳි ගලක්            ලෙසේ
සන්තක මගෙ පුතුගේ        ඇසේ
නෙත් දෙක මගෙ පුතුගෙ  දෙසේ

නුඹෙ අප්පත් ඉතා              කළුයි
නුඹෙ අම්මත් ඉතා              කළුයි
නුඹ නළවන මාත්               කළුයි
නුඹ විතරක්                තලඑළලුයි

වැනේලු කළු                  වැනේලූ
ගම් මැද්දට                   පෙනේලූ
කළූට                          බඩගිනීලූ
කළු අලකොළ                 ලිපේලූ

අඹර කුරක්කන්              කළුවේ
ගල යට පිටි කොයි         කළුවේ
රොටී දෙකක් උය           කළුවේ
අම්මට දීපන්                   කළුවේ

තවත් එකක් උය            කළුවේ
අප්පට දීපන්                  කළුවේ
මටත් එකක් දිය            කළුවේ
උඹත් එකක් කා            කළුවේ

උඩින් අන්න අහස             පෙනෙයි
අවට මිදුලෙ අව්ව             පෙනෙයි
රෑට පුතේ වලා                 පෙනෙයි
නාඬා නිදියන්න                    පුතේ

අතට වළලු කොහෙන්            දුවේ
පයට ගිගිරි කොහෙන්             දුවේ
ඉණට හවඩි කොහෙන්           දුවේ
දැනට නිදාගනින්                   දුවේ

ලොවේ ළමයි බෙර              ගසතී
කළ හැළි කට බෙර             ගසතී
දඞු බෙර ගසමින්                නටතී
මගේ පුතා එහෙම                නැතී

ලොවේ ළමයි වැලි            කෙළිතා
වැලි මැන මැන දබර            වෙතා
මගේ පුතා එහෙම                නැතා
නාඞා නැළවියන්                    පුතා

කන්දක් ගිනි             ඇවිල්ලෙන්නේ
හැන්දක් කිරි                   බීපන්නේ
නැන්දත් නුඹ                 නළවන්නේ
නින්දක් නිදියා                    පන්නේ

කළූ මෙතන පිලේ              වැනෙයි
කළු අල කොළ වෙලේ         වැනෙයි
කළූට බත් ලිපේ                  ඉදෙයි
වෙල් අල කොළ දුමේ           තියෙයි

ලොවේ ළමයි නඩු                 කියතී
ගුටි අනිමින් සිර                    කරතී
කැට කැබැලිති දඩ              ගෙවතී
මගේ පුතා එහෙම                  නැතී

නුඹෙ අම්මා කොතන               ගියා
මානෙල් මල් විලට                   ගියා
එතන විලේ පොකුණේ                 යා
කැකුළු මලක් පිපුණේ                 යා

කපුටු කාක් කාක්                     කාක්
ගොරක ඩේන් ඩේන්                 ඩේන්
අමුතු බාන්  බාන්                     බාන්
කපුටගෙ කටේ රන්                මස්සයි
කපුටිගෙ කටේ වැල               මදුලයි

කොට කොතලෙන් දිය බීලා පෑළ දොරින් උසී
කොරවක්කා, කොවාක්        කොවාක්
කුරුටු පුවක් පුවාක්                පුවාක්
දොරකඩ වැලෙ බුලාත්           බුලාත්
බට පඳුරේ පුවාක්                  පුවාක්
පහළ වෙලේ කොකෙක්කො      කෙක්
මට කිරි හැඳි දෙකක්            දෙකක්

පුංචි පුතා                    නැළවෙන්නේ
ටිකිරි සිනා                    පෙන්වන්නේ
කිරි දත් ටික                   බබළන්නේ
පුංචි සිනා                       මතුවන්නේ

අත්තම්මේ නුඹේ                      පුතා
වත්තක පොල් කලටි                 කකා
කව්දෑ බොල කියන                  එකා
උඩහ ගෙදර අගිටි                   පුතා

ඔන්න පුතේ ගුරු                   එනවා
තුට්ටු දෙකේ රා                 බොනවා
කොක්කන පයි ගෙන              එනවා
අඞන ළමයි                     අල්ලනවා

කන්දේ හිමයේ උන් බක          මූණා
අත්ත දෙකොන ඉඳ හා හූ       ගානා
අප්පා බොල ඌ වස බක         මූණා
ඔක්කොම ඇරගෙන යයි බක    මූණා

උඩ නියරින් වැටී                  ගෙනේ
මිටි නියරින් වැටී                  ගෙනේ
කලවිටි බොල් පොලා            ගෙනේ
එයි අම්මා                    විගසකිනේ

අතට වළලු ගෙනත්                 දෙමී
පයට ගිගිරි                   ගෙනත්දෙමී
ඉණට හවඩි ගෙනත්                දෙමී
නුඹට දෙවියො පිහිට               දෙමී

ලොවේ පුතුන් බොහොම          ඇතා
වඩා නැළෙව්වත්                  අඞතා
මගේ පුතා එහෙම                 නැතා
නාඞා නැළවියන්                     පුතා

ඔන්න බබෝ හොරු              එනවා
අඞන ළමයි                     අල්ලනවා
කරේ තියාගෙන                    යනවා
උන් විකුණා රා                  බොනවා



ඔන්න බබෝ                   ඇතින්නියා
ගල් අරඹේ                      සිටින්නියා
ගලින් ගලට                     පනින්නියා
බබු දැකලා                      දුවන්නියා

මගේ පුතා කොතැන                 ගියේ
මානෙල් මල් විලට                    ගියේ
එතන මලක්                       පිපුනායේ
එමල කඩා එන්න                     ගියේ

නුඹේ අම්මා කොතැන                ගියේ
පතන කැලේ දරට                     ගියේ
දර අරගෙන එන්ට                    ගියේ
ඒ එනකල් නුඹ                    දොයියේ

උඩ නියරෙන් වැටී                  ගෙනේ
මිටි නියරෙන් වැටී                  ගෙනේ
කලවිටි බොල් පොලා              ගෙනේ
එයි අම්මා                      විගසකිනේ

දොයි දොයි දොයි දොයිය           පුතා
බයි බයි බයි බයිය                    පුතා
නාඬා නැළවෙන්න                     පුතා
බුදු සරණයි නුඹට                     පුතා

දොයි දොයි දොයි දොයිය           පුතා
බයි බයි බයි බයිය                    පුතා
මාගේ රත්තරන්                        පුතා
දෙවි පිහිටයි නුඹට                    පුතා

නුඹෙ අම්මා කිරට                    ගියා
කිරි එරවා එන්න                      ගියා
කිරි මුට්ටිය ගඟේ                     ගියා
ගඟ දෙගොඩින් ගලා                 ගියා

අතට වෙරළු ඇහිද                ගෙනේ
ඉණට පලා නෙලා                   ගෙනේ
බරටම දර කඩා                    ගෙනේ
එයි අම්මා                      විගසකිනේ

පුතේ නුඹේ ලොකු                   අම්මා
අතේ වළල්ලක්                      දැම්මා
මෙසේ මියුරු                   තෙපලම්මා
පුතේ නාඬා                       නිදියම්මා

නුඹෙ අම්මත් කළුම                 කළුයි
නුඹෙ තාත්තත් කළුම               කළුයි
නුඹ නලවන මමත්                   කළුයි
නුඹ විතරක් සුදුම                     සුදුයි

අතට වළලු කොහෙන්                පුතේ
පයට ගිගිරි කොහෙන්                පුතේ
ඉණට හවඩි කොහෙන්              පුතේ
දැනට නිදා ගනින්                     පුතේ

මුනිසිරිපා                        සිඹිමින්නේ
සමනොළ ගිර                පෙදෙසින්නේ
මද සුළගයි                     මේ එන්නේ
මගේ පුතා                   නැළැවෙන්නේ

ජාතික රණ දෙරණ                   මතේ
ගැටී වැටී මල                 මොහොතේ
සුන්දර සුරඹුන්ගෙ                     අතේ
නැළැවෙන බව සිතනු                පුතේ

නිදහස් හිරු දෙවි                    එනවා
දෑ බැති මල්පි                     බිදෙනවා
සිරිලක් මව                     හිනහෙනවා
මගේ පුතා                     නැළැවෙනවා

කැප්පෙටිපොළ                සෙනෙවිසුරූ
කර රුපුසෙන් මං                     දැදුරු
අභිරුවිකුම් පෑ                        අයුරූ
නුඹට පුතේ වෙයි                      මියුරූ

ජාතිය රන් විමනක්                      වේ
ආගම මිණි පහනක්                     වේ
එය රැකගන්නට                 මෙලොවේ
සමත් වෙතොත් පුත නුඹ               වේ

ඇතින්නියක්‌ ලත් දරු පෙම්බරේයා
ඇතිනි රැළේ හැමටට කිරි එරේයා
අනිත් අතට දුන් මුදුවත් පිරේයා
ඉතින් පුතුට මවගේ ආදරේයා




No comments:

Post a Comment