Pages

Sunday, August 11, 2024

සිනා කිකිණි.....

 සිනා කිකිණි.....


සිංහල නිසදැස් කවි කලාවේ නව මානයන් සෙවූ මහැදුරු විමල් දිසානායකයන්ගේ මේ අපූරු කවි පන්තිය අනූව දශකයේ 11 ශ්‍රේණී පෙළ පොතෙන් උපුටාගත්තකි.


අඳුරු රෑ ගුවන් ගැබ දිලෙයි තරු දෙක තුනක්‌


දෑ සමන් මල්‌ අතර සුළඟ දැවටෙමින්‌ ඇත


හාත්පස පතළ මඳ'දුරේ මනසින් ගිලී


කවුළු දොර හැර නිහඬ ලෙස බලා සිටිමි මම.......


නිසල රෑ කලඹමින' කොහේදෝ දෝ සිට නැගී


පාව එයි පාව එයි සිනා කිංකිණි හඬක්‌


බැලු මුත් අවට කිසිවෙක්‌ පෙනෙන්නට නොමැත


තරු කැල්ම, මඳ අඳුර, සැලෙන තුරු පත් පමණී....


යළිත් ඒ  හඞ නැගෙයි සසල කරමින් මහද


මඳ'දුරේ විහිද යයි ඒ රිදී මියුරු හඬ


තිගැස්සී මුස පත්‌ ව සවන් දෙමි ඒ හඞට


එහෙත් කිසිවෙක්‌ පෙනෙන්නට නොමැත මේ අවට....


ප්‍රමුදිත ව ඒ හඞින් දුවමි එය පසු පසෙහි


කාලයේ මඟ දිගේ නැවත ආපසු දුවමි


ගිරි කුළු ද කඳුරැලි ද පසු කරන් පියාඹිමි


මේ සිනා කිකිණි හඞ නැඟෙන රන්බිම වෙතට.....


මහාචාර්ය විමල් දිසානායකයන්ගේ 'අතීත කතාව' නම්‌ කවි පෙළිනි

වැස්ස

 වැස්ස

 ඉර කොහේද හැංගිලා

අන්න අහස කළු වෙලා


 මිදුලේ ගස් වැනෙනවා

ගස් වල කොළ වැටෙනවා


ටිං ටිං ටිං කියනවා

ලේන් පැටවු අඬනවා


වැහි පොද පොද වැටෙනවා 

ගස් වල මල් තෙමෙනවා


හෝ හෝ හෝ වහිනවා

මිදුලේ වතුර පිරෙනවා


කොළයක් ගනිමූ-ඔරුවක් හදමූ

වතුරේ පාවී-යනවා බලමු


වතුරේ පාවී-ඒ ඔරු යනවා

පාවී පාවී ඈතට යනවා

කදු පෙළ අතරේ තුරු වදුලේ

 කදු පෙළ අතරේ තුරු වදුලේ


කදු පළ අතරේ තුරු වදුලේ

ගංගාවේ හා වෙල් යායේ

ගී නාදේ ගැමියා මැවුනේ

සුමධුර වේ මනහර වේ

ගංවතුරේ ඔරු පැදීමු

 අවුරුද්දකට වරක්‌ හෝ දෙ වරක්‌ අපේ ගම ගංවතුරෙන්‌ යට වෙයි. ගඟ ඉහත්තාවට මහ වැසි ඇද හැලුණු විට අපේ ගම හරියේ දී ගඟ උතුරා ගොස්‌ පහත්‌ බිම්‌ යට වෙයි. 




තාත්තා අපේ අඟුල දියත්‌ කරන්නේ මහ ගංවතුරක දී පමණ ය. එදා අඟුල දියත්‌ කළේ තාත්තා නො ව මාමා ය. අඟුල දියත් කොට කොල්ලෑව සවිමත්‌ ලෙස බැන්ද මාමා හබල ද අතට ගත්තේ ය. මාමා ඔරු පැදීමෙහි ශූරයකු බව කවුරුත්‌ දනිති. මාමා අඟුල සූදානම්‌ කර හමාර වන විට අයියාත්‌, සුමතින්‌, මාමාගේ තවත්‌ මිතුරකුත්‌, මමත්‌ අඟුල නැඟී "සිටියෙමු. අඟුල ලොකු එකක්‌ වූ හෙයින්‌ සියලු දෙනාගේ බර උසුලා යෑමට එයට හැකි විය. 




 මාමා හබල අතට ගත්තේ ය. මාමාගේ මිතුරා දිග රිටක්‌ අතට ගත්තේ ය. හබල ගොඩ පළුරකට තබා තදින්‌  අල්ලා අඟුල හරවා ගත්‌ මාමා එය දියඹට පැද ගියේ ය. 




වෙල්යාය එක ම සාගරයකි. ඉඳහිට වෙලේ තිබුණු උස පන්‌ ගසක මල්‌ සහිත අගිස්සක්‌ ජලයෙන්‌ ඉහළට එසවී මතු වී තිබුණේය. ඒ හැර ගං වතුරේ පා වෙමින්‌ තිබුණු කොළ රොඩු වැනි දේ හැරෙන්නට තිබුණේ බොර පාට වතුර පමණ ය. 


අපේ ගොඩ මංඩිය අයින දිගේ පැද ගිය ඔරුව එක්‌ තැනක දී ජලය හරහා ඊළඟ ගොඩ මංඩිය කරා ගෙන යෑමට මාමාත්‌, මාමාගේ මිතුරාත්‌ මහත්‌ වෙහෙසක්‌ ගත්හ. ඒ ගමනේ දී ගංවතුරේ පාවී ආ කොළ, රොඩු, දර අතු, ලී කොටන්‌ වැනි නොයෙකුත්‌ දේ අපට හමු විය.(ඉසිඹුව fb page)


එසේ පාවී ආ දේ අතර ඉඳහිට අපට හමු වූ පොල්‌ ගෙඩියක්‌, දෙකක්‌ දුටු විට අපි ඒවා එකතු කර අඟුල තුළට දමා ගත්තෙමු. ගංවතුරේ පාවී එන පොල්‌ ගෙඩියක්‌ වැනි යමක්‌ එසේ එකතු කිරීම අපට විනෝදයක්‌ විය.




විටෙක අපි අඟුල මත දැමූ ලෑලි මත නැඟිට ගෙන ගියෙමු. තවත්‌ විටෙක .අපි ඒ මත වාඩි වී ගෙන ගියෙමු. ගොඩ මංඩියක්‌ අද්දරින්‌ යන විට හමු වන ළැහැබ්වල නොයෙක්‌ මල්‌ ජාති ගෙඩි ජාති ඇත. වතුරට නැමුණු මිදෙල්ල ගසක අතුවල එල්ලෙන රතුපාට මල්වැල්‌ අලංකාර සැරසිල්ලක්‌ වැනි විය. මිදෙල්ල මල්‌ වැල්වල ඉහළ කෙළවර ඇති මල්‌ "හොඳින්‌ පිපී ඇත. පහළ කෙළවර ඇත්තේ පිපී ගෙන එන මොට්ටු ය. අපි මිදෙල්ල මල්‌ වැල් කඩා ගෙන වතුරට දමමින්‌ සෙල්ලම්‌ කළෙමු.


අභුලේ ලෑලි මත වාඩි වී අත් පා වතුරේ දමමින්‌ මල්‌ වැල්‌ සමභ අපි සෙල්ලම්‌ කළෙමු. අයියාත්‌, සුමතිත්‌, මාත් සෙල්ලම්‌ කරද්දී, මාමාත්‌ මාමාගේ මිතුරාත්‌ අඟුල පදිති. අඟුල යන දිසාව දන්නේ මාමා සහ ඔහුගේ මිතුරා ය.




හිටි හැටියේ ම අඟුල එක්‌ ළැහැබක්‌ අසලට ඇදී ගියේ ය. අපි මාමා දෙස බැලුවෙමු. මාමා අඟුල පදින්නේ ඒ අසල ඇති පොල්‌ ගසක්‌ දෙසට ය. පොල්‌ ගස එතරම්‌ උස නැත. එය ළැහැබ තුළ ඉහළට මතු වී ඇත. ගසෙන්‌ වැඩි කොටසක්‌ ගංවතුරෙන්‌ යට වී ඇත. ගස ළභට අඟුල ළං වූ විට එහි ඇති ගෙඩි අතින්‌ කඩා ගන්නට පුළුවන. 


“අන්න හොඳයි. අපට වෑවර කන්න පුළුවන්‌”අයියා කෑ ගැසුවේ ය. 


“ඒයි, කෑගහන්න එපා” මාමාගේ විධානයෙන්‌ අපි නිශ්ශබ්ද වීමු.




මාමා අඟුල නතර කරගෙන සිටිද්දී මාමාගේ මිතුරා වෑවර ගෙඩි පහක්‌ කඩා අඟුල තුළට දමා ගත්තේ ය. හෙමින්‌ හෙමින්‌ :අඟුල එතැනින්‌ මෑතට ගත්‌ මාමා නැවත ගොඩ අයින දිගේ එය ඉදිරියට පදවා ගෙන ආවේ ය.මාමා, හබලෙන්‌ අඟුල පදිද්දී මාමාගේ මිතුරා සිය ඉනේ ගසා හෙන සිටි පිහියක්‌ එළියට ගෙන ලෑලි මත වාඩි " වී වෑවර කපන්නට පටන්‌ ගත්තේ ය. වෑවර එකින්‌ එක තැබූ ඔහු ඒවා සිදුරු කර අප එක එක්කෙනා අතට දුන්නේ ය.


වෑවර ගෙඩියේ වතුරෙන්‌ අපේ බඩ කොට්ට මෙන්‌ පිම්බී පිරුණේ ය. වතුර බී හමාර කළ පසු හිස්‌ වෑවර ගෙඩිය අඟුල්‌ කඳේ ම ගසා පළා දුන්නේ ද මාමාගේ මිතුරා ය. ඔහු එයට කදිම හපනෙක්‌ විය. අපි වෑවර ටික ද සූරා ගෙන කා හිස්‌ කෝම්බ පළු දෙක වතුරට ම වීසි කළෙමු.




''ඒයි ඕවා වතුරට දමන්න එපා. ඕවාට කූඩැල්ලො ඇල්ලුවා ම උඹලාගේ බඩ රිදෙන්න ගන්නවා” යි මාමා අපට අවවාද දෙන විට අප වෑචර කා ඉතිරි වුණු හිස්‌ බෑ ගංවතුරට දමා හමාර ය.


පැරණි 4 ශ්‍රේණි සිංහල පෙළ පොතකින්

වලස් දඩයම ~ විමලරත්න කුමාරගම

 වලස් දඩයම ~ විමලරත්න කුමාරගම


පූලයි මායි පලු ගස් දෙබලක             මැස්සේ

සයිමා සමග කඩියා කැටවළ              අස්සේ

අඳුරේ හැම හඬට මගෙ හදවත      ගැස්සේ

අඩ හඳ පාළු වන රොද මුදුනට          ඉස්සේ


පලු ගහ අවට නැගි මැහි මදුරු        නැළවිලි

තරු මල් වලා ගුලි නිල් ගුවන             සැරසිලි

වැව් දිය ඇල් මැරී මසු අතර          කැලඹිලි

බැලු හැම තැන ම මතු ‍වුණු අමුතු  සෙවණැලි


විසිතුරු වලා වැලි කම්මැලි ලෙස      ප‍ාවේ 

කිසියම් සතෙක් තව නැත වැව වෙත  ආවේ 

දාඩිය ගලා බැස මුලු සිරුර ම            නෑවේ

ඈතින් ඇසේ මත් මුව දෙනකගෙ         රාවේ


‍හදිසියෙ දුටිමි කලුවක් වැව වෙත      ඇදෙන

වැලහින්නක්ය- ඇය පසු පස දරු     දෙදෙන

යන්තම් ඇසුණි හඬ පැටවුන් දිය           අදින

කැටවළ තුළින් ඵකණෙහි වෙඩි හඬ නැගිණ


වම් ඉළයට ‍වැටී ගති ඒ                 වැලහින්න

මම කෑගසි‍මි කඩියට වෙඩි        නොති‍යන්න

දඟලන අතර ඈ තැති ගෙන          නැගිටින්න

දුක්මුසු ‍ලෙසින් ‍හැඬුවා පොඩි දරු     දෙන්න


පොඩි පැටවුනුත් ඇදගෙන රැඳෙනු  ඉඩ නොදී

ආ කැලයට ම ඵ් මව පැනපි ‍ඇදි     ඇදී

කකුලක් කැඩී ගියමුත් ඇයගෙ ‍ වෙඩි      වැදී

දරු පෙම මරන්නට ඵ් මව‍ට ඵය              මදී‍


හෙමිහිට ඇදී යනතුරු දුරට ම           බැද්දේ

හදවත පෙළී පැටවුන් වැළපෙන ‍          සද්දේ

සංවේගයෙන් මා සිටි මැස්ස ද            පද්දේ

වැළපෙයි කිරල රැළ උඩ පැන වැව    මැද්දේ


ගොළුවන් කියන දේ ‍වැටහෙන සවන්    පෙතී

මා සතු වෙන්ට ඵදවස සිට පටන්             ගතී

දරුවන් දක්න විට සිය මෑණියන්            නැතී

ඵ් හැම දෙන ම මගෙ ළග නෑ සියන්      වෙතී


- විමලරත්න කුමාරගම මහතා

නියරක් අද්දර

 නියරක් අද්දර


නියරක් අද්දර

හැඩ වැඩ දාලා

ගේ පොඩ්ඩක් තිබුණයි


ගෙයි හැටි දැක්කම

අසා හිතිලා

ගෙන යන්නට හිතුණයි

 

ළං වී එතනට

හොද හැටි නැමිලා

අල්ලන්නට හැදුවයි


ගේ ඇතුලින් පොඩි 

ඔලුවක් පෙනිලා

හති දාගෙන දිව්වයි


ගෙදරට දුවලා

අයියට කියලා 

දෙන්නම ගොස් බැලුවයි


නියරේ ගේ නැත

වතුරට බැහැලා

ගේ පීනනු දැක්කයි

Monday, August 5, 2024

ඇවිදින ගෙයක්


නියරක් අද්දර

හැඩ වැඩ දාලා

ගේ පොඩ්ඩක් තිබුණයි


ගෙයි හැටි දැක්කම

අසා හිතිලා

ගෙන යන්නට හිතුණයි

 

ළං වී එතනට

හොද හැටි නැමිලා

අල්ලන්නට හැදුවයි


ගේ ඇතුලින් පොඩි 

ඔලුවක් පෙනිලා

හති දාගෙන දිව්වයි


ගෙදරට දුවලා

අයියට කියලා 

දෙන්නම ගොස් බැලුවයි


නියරේ ගේ නැත

වතුරට බැහැලා

ගේ පීනනු දැක්කයි