Pages

Sunday, August 4, 2024

කම්බ හොරු

 ඔන්න එකමත් එක රටක ප්‍රසිද්ධ හොරු දෙන්නෙක් හිටියා අබ්දුල්ලා සහ රෂීඩ් කියලා. මේ දෙන්නා නම් දැරූ කපටියෝ.


අවුරුදු කාලෙත් ළං වුණත් මේ දෙන්නා අතේ සල්ලි නොතිබුණු නිසා කාව හරි රවට්ටන විදිහ ගැන දෙන්නා කතා වෙමින් හිටියේ. මෙන්න මේ වෙලාවේ පාර දිගේ බඩු පැටවූ බූරුවෙකුත් රැගෙන එන මහලු මිනිසෙකු ඔවුන්ගේ දර්ශන පථයට හසු වුණා.


‘’අබ්දුල්ලා අර බලන්න අර මිනිහා ළඟ බූරුවෙක් ඉන්නවා. මිනිහා බිම බලාගෙන තද කල්පනාවක එන්නේ. බූරුවා බඩුත් එක්ක ඔහේ එනවා.අපි හෙමින් බූරුවා ලිහාගනිමු.’’රෂීඩ් කීවා.


‘’ඒ මිනිහාට හොරෙන් බූරුවා ලිහන්නේ කොහොමද?’’


‘’මිනිහා එන්නේ බිම බලාගෙන. හැංගිලා ඉන්න අපිව මිනිහට පෙන්නෙ නැහැ.ඒ මිනිහා අපි පහු කරලා ගිය හැටියෙම අපි බූරුවා ළඟට දුවමු. උගේ පිටේ තියෙන බඩු ටික උස්සලා මගේ පිට උඩ තියන්න. ඊට පස්සෙ අර වංගුවෙන් හැරෙනකොට ම බූරුවා අරන් ගෙදර පලයන් ‘’.. රෂීඩ් සැලසුම විස්තර කළා.


වැඩේ ඒ විදිහට ම සිද්ධ වුණා. මුකුත් නොදත් මහලු මිනිසා ඉදිරියට ම ගියා. ඒ මහල්ලාගෙ නම සලීම්.


සලීම් ගෙදරට ළඟා වුණා. බූරුවා දිහා බලන්න ආපහු හැරුණු ඔහු පුදුමයට පත් වුණා. බූරුවා වෙනුවට එතැන හිටියේ මිනිහෙක්.


‘’උඹ කවුද? බඩු පටවාගෙන ආ බූරුවා කෝ?’’


රෂිඩ් දණගසාගෙන මෙහෙම කීවා.


‘’ස්වාමීනී, අනේ අසරණ මගේ කතාවට සවන් දෙන්න.ඔබට මෙපමණ කල් වැඩ කර දුන් බූරුවා මමයි.’’


‘’මේ මොන පුදුමයක් ද දෙවියනි! ඔබ මිනිහෙක් නම් බූරුවෙක් වුණේ කොහොමද?’’


‘’අවුරුදු ගණනකට පෙර මම ධනවත් තරුණයෙක්. ඒත් මම හරි ආඩම්බරයි. නපුරුයි.දවසක් මම තරහා ගිහින් මගේ අම්මාට පාරක් ගැහුවා.එදා දෙවියන්  දඬුවමක් ලෙස මා බූරුවෙකු බවට පත් කළා.’’


‘’මොනවා. ඉතින් ඔබ කොහොම ද නැවත මිනිසෙකු වුණේ?’’


‘’ස්වාමිනී,ඔබතුමා මට ඉවසීම ඉගැන්නුවා. ඔබතුමා මටදුන් පහර අම්මාට ගැසූ පහරට විපාක ලෙස මා පිළිගත්තා. ඔබතුමා උදේ සවස අල්ලා දෙවියන්ට කළ යාඥා මා අසා සිටියා.ඒවායින් මම හොඳ දේ ඉගෙන ගත්තා.අල්ලාගෙන් දැන් මට සමාව ලැබී තිබෙනවා.’’


මෙහෙම කියමින් රෂීඩ් මහලු මිනිසාගේ අත් ඉම්බා.


සලීම් ඔහු නැගිට්ටෙව්වා.


‘’අල්ලා දෙවියනි, ඔබ කොතරම් පුදුම දෙවි කෙනෙක් ද? ඔබ කෙතරම් ශ්‍රේෂ්ඨ ද?යමුඅපි ගෙට ගොස් අල්ලාට යාඥා කර සතුටු වෙමු. ‘’


රෂිඩ් නිවස තුළට කැඳවාගෙන ගිය සලීම් ඔහුට තෑගිබෝග  දී අම්මාට ආදරයෙන් සලකන්නැයි කියා අවවාද කර ඔහු පිටත් කර යැව්වා.


දින දෙක තුනකට පසු වෙළඳපොළ පැවැත්වෙන දිනය උදා වුණා.


සලීම් තමන්ට තවත් බූරුවෙකු මිල දී ගැනීමේ අදහසින් වෙළඳපොළට ගියා.මේ අතර අබ්දුල්ලා සලීම්ගේ පරණ බූරුවා විකුණන්නට වෙළෙඳපොළට ගෙනැවිත් තිබුණා.ස්වාමියා දුටු විගස අඳුනාගත් බූරුවා කෑගසන්නට වුණා.


මේ අවස්ථාවේ සලීම් ඒ අසලට ගියා.


‘’අනේ, අනේ, ලැජ්ජා නැති බූරුවෝ. උඹට මා දුන් අවවාද ඔතරම් ඉක්මනට අමතක වුණා ද?උඹ තව පාරක් උමේ අසරණ අම්මාට ගැහුවා ද?ආයෙත් නම් මම උඹව බේරන්න උදව් කරන්නහැ.’’


කියමින් සලීම් බූරුවා මිලදී ගෙන ගෙදර යන්නට ගියා.


ඉතින් මේ කතාව කියෙව්වා ම ඔබට අබ්දුල්ලා සහ රෂිඩ් වගේ දෙන්නෙක් මතක් වෙනවා නම් ඔබට හොඳ විඥානයක් තිබෙනවා. මේ කතාවෙ එන දෙන්නාගෙන් එකෙක් ආගමත් විකුණාගෙන කෑ හැකි එකෙක්.


- නවමඟ කියැවීම් පොත් පෙළේ එන කතාවක් ඇසුරිනි.

No comments:

Post a Comment