Pages

Sunday, October 1, 2023

කුරක්කන් කවි


දුරුතු මහේ දී කැලයට වැදිලා
මසක් පමණ කල් කැලවල් කොටලා

මැදින් දිනේ දී වල් ගිනි තබලා
කුරහන් ඉසිමුව කළුවර බලලා

එල්ල වෙන්ට කවිකාර කීවෙමි බොහොම
කොල්ල කන්ට එති සිවුපාවෝ බොහොම
ගොල්ල සමග එති ඌරෝ හැමදාම
නිල්ල අඹති සත් දවසින් බැලුවාම

තනා වංගු ඇර කෙත රැකවල් කරවා
සිනා වෙමින් පැල් ලැග නිදා නො ලබනවා
මනා ප වෙන්ඩ අඹුවට ගොස් තෙපලනවා
බන්ඩි උනා කුරහන් දැන් පූදිනවා

මා කී දේ දෙයියනි බොරුවක් ම නැති
බිම එළඋනොත් කණු මදු බොහොම ළඟ ඇති
ඇහැට වෙහෙස ඇත තුන්යමට නිදි නැති
ගොබ කළුවෙමින් කරහන් කිරිවැද පැසෙති

හේනේ පැලේ මා විඳිනා සුරුක්කන්
ඌරෝ ඇවිත් වටපට කරති සක්මන්
වැටටත් උඩින් උන් අල්ලන මලක්කන්
අපොයි මගේ කිරිවදිනා කුරක්කන්

අහසේ තරු සේම ගොයිතැන් කරන්නේ
පොළොවේ වැලි සේම බෝගත් ඉසින්නේ
මගේ හේනමයි ඌරට පෙනෙන්නේ
විස්නු සමන් දෙවියෝ නඩු බලන්නේ

කටුඇල්ලේ මගේ හේනේ කුරක්කන්
වැට අහුරා ඌරන්ගෙන් වලක්කන්
කරගන්නට බැරි උන් මහ කුරක්කන්
ඌරෙනි නොකා පලයව් මගේ කුරක්කන්

මෙදා හේනෙ පැහිලා ඇති කුරක්කන්
රන්වන් කරල් බර වී ඇති සුරක්කන්
ඌරෝ නො කෑවොත් හේනේ කුරක්කන්
බඩගින්නට අවුසදයකි කුරක්කන්

කුරක්කන් තුනයි වැපුරුවෙ අමාරුවේ
කපන්ටත් බැරුව අතපය රුදාවේ
අරින්ටත් බැරුව ලොවගම සිනාවේ
කපමු නෑනේ ඉපනැල්ලේ සුබාවේ

එපෙති දෙපෙති මහහේනේ කුරක්කන්
මඟ යන්නොත් මට සරදම් කරන්නන්
එපෙති වෙන්ඩ කවුදැයි කළ නරක්කන්
කපා ගනිමු එක පෙත්තේ කුරක්කන්

බඳිති කඩුලු බැරි අලියන් නවතන්ඩ
බඳිති පුද පඬුරු ලොව හැම දෙවියන්ඩ
යොදති නැකැත් පදමට අසුරා ගන්ඩ
කපති කුරක්කන් දොවියෝ රැකදෙන්ඩ

පන්කැති ටිකටික අරගෙන මෙසේ සිටගතී
රටා වියපු මලු අරගෙන කපති පුවරතී
පුරා හේනෙ අපි ඉඳ ගෙන සිංදු පවසතී
පොළොව මිහිකතේ අපහට යන්නට අවසරයි

කුරක්කනේ ඇට ටික්කිරි බොලන්නේ
ගෑනු රොත්ත වටකර ගෙන කපන්නේ
කබල්පොත්ත ලිප පිටමයි තිබෙන්නේ
රොටී පොත්ත කාල ද වැඩ කරන්නේ

පටි ය මල් පිටිය මල් පටීයේ
පටි තැල්ල කර ලා ගෙන සිටීයේ 
රොටී උයමනෙන් දවසක නසීයේ
රොටී උයන ළඳ මසුරන් වටීයේ

කුරක්කන් රොටිය උදයට පාරට්ටු
නරක්කන් උයාගෙන කාපන් පිට්ටු
කුරක්කන් නැතුව ගිය තැන වෙයි මට්ටු
මෙදා යලට කෑ හැකි කුරහන් පිට්ටු

ළඳුනේ තැනින් තැන ඉස්සර බලාගෙන
රුවිනේ පෙනෙයි ඈතට ගෙඩ සොඳ ලෙසින
පවනේ ගොසින් තැන් තැන්වල වාඩි ගෙන
ළඳුනේ ඉතින් කාපල්ලා මද්දහන 

නුරා වඩන රූබල අඟනන් කැන්දූ
පුරා ළැමද පියයුරු ගන රන් පන්දු
දිරා වැටෙයි අව්වට ගෝමර බින්දු
පුරා කියමු මැණිකේ හවුලට සින්දු

ඇතා වටින පද බැන්දෙමි අමුතුකර
ගෙතූ මල් ලතා වැනි දෑත එන සැර
සිතා ගෙන අපිත් හැම දෙන ම එකවර
පතා ගනිමු උපදින්නට එකනුවර

ගල්පොතු හේනේ ගැටගැට ලොක්කන් 
පිල් නැති ගිරවකු සේමා ලොක්කන්
කිරි රස වැගිරෙන ළපටි කුරක්කන්
තලප ගිලී ඉඳ බඩගෙඩි ලොක්කන්

ඇට ගුඩුගුඩු පිටි ගුඩුගුඩු කුරක්කන්
ඒව කන්ඩ මොන මාලු ද ඉනක්කන්
දොරකඩ වැලේ රට වැටකොළු ඉනක්කන්
එතොත් වරෙන් අද රෑටත් කුරක්කන්

තුට්ටු පොඩි නැතුව ගිය තැන වෙයි මට්ටු
රට්ටු එවන හාලට කර පාරට්ටු
මට්ටු වෙයි සබඳ නො කරන් බොරු ඔට්ටු
පිට්ටු තමයි ගත වැඩුමට ගත කෙට්ටු

රටින් ගෙනෙන ගුලු කුඩිච්චි හාලුත් නාදා මුට්ටුව
රසෙන් වැහෙන මෙරට  හාල නැති ද තමයි ඇඟ කෙට්ටු
කටින් දොඩන් නරිවාදන් එතකොට නැතිවෙයි මුට්ටුව
විටින් විටදි පිහිටවන්නේ අපෙ රට කුරහන් පිට්ටුව

කුරක්කනට නිසි අඟනෝ                    බැහැපල්ලා
ඇවිත් අපෙන් කවි සීපද                          අහපල්ලා
තරක් නොවී අඬ දබරත්                     නොකරල්ලා
කුරක්කනට අත කඩිනම්                        කරපල්ලා

කපා කුරක්කන් කමතට ගෙන                       ආවා
පිට්ටු මල්ල දැකලා බඩගිනි                            ආවා
තට්ටි නෑනෙ දැන් ඉර මුදුනට                         ආවා
පිට්ටු කන්න වර දැන් බඩගිනි                         ආවා

කුරක්කනේ රුව කදිමයි                     බොලන්නේ
ගෑනු හැත්ත වට කරගෙන                      කපන්නේ
කබල් පොත්ත ලිප පිටමයි                   තියෙන්නේ
රොටී පෙත්ත කාලයි වැඩ                      කරන්නේ

උතුරු දිගින් ඌරා හේනට                           එනවා
නපුරුකමට තුඹසේ කුරහන්                        එනවා
මිතුරුකමට මම ඌරා                            එළවනවා
හතර වරම් දෙවි ඌරට හෙන                     දෙනවා

කපා කුරක්කන් කමතේ ගොඩ                කෙරුවා
කකා මල බුලත් කමතේ කෙළ                  ගැසුවා
උයා හැළි වළං අම්මා ගෙයි                        හැදුවා
හේනෙන් ගෙදර එනකොට අලියා             ගැසුවා

බඳිති කඩුලු බැරි අලියන්                       නවතන්ඩ
බඳිති පුද පඬුරු ලොව හැම                    දෙවියන්ඩ
යොදත් නැකැත් පදමට අසුරා                      ගන්ඩ
කපති කුරක්කන් දෙවියෝ රැක                  දෙන්ඩ

කුරක්කන් කපන ගෑනුන්ගේ                       අටියා
ඔහොම කුරක්කන් අපි දුටුවේ                   නැතියා
අද තිස්සෙම මේ අව්වේ පිට                       කකියා
නෑනෝ නුඹ පල්ල බඩගින්නේ                  බැරියා

රන්වන් එරන්වන් කුරහන් පැසෙන              රඟේ
මල්වන් රුවට කිරි කුරහන් පෙනෙන           රඟේ
සෙල්ලම් සිතින් ලොකු ලොකු ගෙඩි කරන  රඟේ
සෙල්ලම් නොකර පලයව් ගිරවුනේ             මගේ

කුරක්කන් තුනයි වැපුරුවෙ                     අමාරුවේ
කපන්ටත් බැරුව අතපය                            රුදාවේ
අරින්ටත් බැරුව ලොවිගම                        සිනාවේ
කපමු නෑනෙ ඉපනැල්ලේ                         සුබාවේ

කුරක්කන් කපන වාරෙත් ආපි                       ළමා
නරක්කන් අව්ව මූණට තදයි                          ළමා
නළල් වටින් එන දාඩිය මුතු                         සේමා
මා දෙස නොබලන්ට නුඹෙ අත කැපෙයි        ළමා

අලසක් නැති ලෙසට කඩිනම්               කරපල්ලා
දෙසිතක් නැති ලෙසට අත සැර            කරපල්ලා
පැසෙතත් හිස අව්වට පසු                නොබසිල්ලා
නසිතත් ළඳේ පින් ඇති වැඩ                කරපල්ලා

කැපූ කුරක්කන් කමතේ                        වනාලා
පදමට දමා බිම්මල පිට                       කොටාලා
අඹරා ගලෙන් පදමට ගෙන                     හළාලා
අගනා බොජුන් සදමින් මුනි                     පුදාලා

පෝය සන්දියේ ඇහැළේ කැපු                  හේන
නිකින්නියේ මැදදී ගිනි තැබු                     හේන
වස් මාසේ වැපිරූ කුරහන්                         හේන
අපේ පිනටමයි පැසුනේ මේ                      හේන

ඇයි ලඳුනේ තනි හේනේ                   කපන්නේ
දෙමව්පිය දෙන්න නැද්දයි                  ලඳුන්නේ
අළු ගෝමර පෙති ගෝමර               දැවෙන්නේ
කපුරු ලා බුලත් කන්නට                 වරෙන්නේ

අපොයි අනේ මේ අහසේ                  කුරක්කන්
හීන් ඇඟිලි මිට මොලවන                 කුරක්කන්
ඌරු කොලු කාපි මගෙ කිරි              කුරක්කන්
මෙදා මහේ කාටත් නැත                   කුරක්කන්

රොටී තමයි අද රෑටත්                        උයන්නේ
මැටිය සේම ගුලි කර කර                   වඩන්නේ
පළහි සේම ලිප වට කර                  තියෙන්නේ
රොටී නිසාමයි දවසක                      නහින්නේ

මා කී දේ දෙවියන් බොරුවක්ම                නැතී
බිම එළි වුණොත් කණු මදු බොහොම ළඟ ඇතී
ඇහැට වෙහෙස ඇති තුන්යමට නිදි          නැතී
ගොබ කළු වෙමින් කුරහන් කිරිවැද     පැසෙතී

දුරුතු මහේදී කැලයට                                 වැදිලා
මසක් පමණ කල් කැලවල්                     කොටලා
මැදින් දිනේදී වල් ගිනි                                තබලා
කුරහන් ඉසිමුව කළුවර                               බලලා

හේනේ පැලේ මා විඳිනා                       සුරුක්කන්
ඌරෝ ඇවිත් වටපිට කරති                      සක්මන්
වැටටත් උඩින් උන් අල්ලන                  මලක්කන්
අපොයි මගේ කිරි වදිනා                       කුරක්කන්

කටු ඇල්ලේ මගෙ හේනේ                    කුරක්කන්
වැට අහුරා ඌරන්ගෙන්                         වලක්කන්
කරගන්නට බැරි උන් මහ                      කුරක්කන්
ඌරෙනි නොකා පලයව් මගෙ               කුරක්කන්

එපෙති දෙපෙති මහ හෙනේ                   කුරක්කන්
මග යන්නෝ මට සරදම්                        කරන්නන්
එපෙති වෙන්ට කවුදැයි දළ                    නරක්කන්
කපා ගනිමු එක පෙත්තේ                      කුරක්කන්

අහස ගොරවලා වැහි එන                        අදික්කන්
ඇඟිලි ඉරිතලා රුව ඇති                         කුරක්කන්
එනව කීවාට නාවේ                               නරක්කන්
නෑනා නාවාට නාරිමි                             කුරක්කන්

කුරක්කන් ගෙදර හෙනේ                       කුරක්කන්
ගොල්ල ලපති ගමරාලගෙ                      කුරක්කන්
තුන්පෙති වෙලා කිරි වැදිලා                    කුරක්කන්
කපා දියන් මගෙ නෑනෝ                        කුරක්කන්

රෑ තිස්සේ මැසි මදුරුවො දුක්                        දෙනවා
සීතල සුළං වැදි වැදි කල් ගත                       වෙනවා
කුරහන් කන්ට එන සතුනුත්                      එළවනවා
එළිවන තුරා පැල්වල ගිනි                     මොලවනවා

අව්ව තමයි පිට දී ගෙන ඉන්න                           බැරී
වැස්ස තමයි කුරහන් වේළන්ට                          බැරී
තරහ තමයි පොඩ්ඩක් ඉවසන්න                        බැරී
පරහ තමයි බිඳි කුරහන් ගන්ට                           බැරී

වාරේ වැස්ස හොර නැතුවම                       වහින්නා
පාරේ තොටේ යන්ඩත් බෑ                     තෙමෙන්නා
ඇල පාරේ ගොයම් ටික නම්                   පැහෙන්නා
ඉහපු කුරක්කන් පැසිලා                              දිරන්නා

පිනිබර කුරක්කන් කිරි වදිනා                       වේලේ
ඉණි වැට කඩා එති ඌරෝ රෑ                        කාලේ
මිණි කිංකිණි හඬ පරදන උඹෙ                      තාලේ
වැනි වැනි කියා ඇදපන් සීපද                         තාලේ

අහසේ තරු සේම ගොවිතැන්                   කරන්නේ
පොළොවේ වැලි සේම බෝගත්                ඉසින්නේ
මගේ හේනමයි ඌරට                         පෙනෙන්නේ
විස්නු සමන් දෙවියෝ නඩු                       බලන්නේ

මෙදා හේනෙ පැහිලා ඇත                       කුරක්කන්
රන්වන් කරල් බර වී ඇත                        කුරක්කන්
ඌරන් නොකෑවොත් හේනේ                  කුරක්කන්
බඩගින්නට අවුසදයකි                            කුරක්කන්

හේනේ පැලේ මා විදිනා                         සුරුක්කන්
ඌරෝ ඇවිත් වට පිට කරති                       සක්මන්
වැටටත් උඩින් උන් අල්ලන                    මලක්කන්
අපොයි මගේ කිරි වදිනා                         කුරක්කන්

කුරක්කන් තුනයි වැපුරුවෙ               අමාරුවේ
කපන්ටත් බැරුව අතපය                      රුදාවේ
අරින්ටත් බැරුව ලොව ගම                  සිනාවේ
කපමු නෑනෙ ඉපනැල්ලේ                    සුබාවේ


කුරක්කන් කපයි අඹරයි අපේ                  එකී
හැළිය මුවාවට ඉඳගෙන බෙදන               එකී
තලප ටික කන්ට හොදි ටික නොදෙන    එකී
ඊයේ පලද්දැයි මා ළඟ උන්න                 එකී

ගල් යායේ මල් යායේ                   කුරක්කන් 
ඇත දිග හැර මිට මොලවන           කුරක්කන් 
කැකුළු පීදිලා රුව ඇති                  කුරක්කන් 
ගැහැණු මරණ පලදාවකි               කුරක්කන් 

මුලදි කැලේ හැටි බැලුවම කුමක් වැනි
පිහිය නුදුටු අපේ මාමගේ රැවුල වැනි
හේන කොටා ගිණි තිබ්බම කුමක් වැනි
බඳින දවසේ එළිකල මගේ මුහුණ වැනි

කුරක්කනේ පොඩි පැල්පත කුමක් වැනි
විසි වයසේ මගේ කම්මුලේ පෙනුම වැනි
පීදිගෙන එන කුරහන් කුමක් වැනි
අලුත් ළමිස්සියකගේ මල් හිනා වැනි

බණ්ඩි කුරක්කන් පැද්දෙනු කුමක් වැනි
පොඩි නෑනා දුර සිට අත වනන වැනි
පැසී තිබෙන විට කුරහන් කුමක් වැනි
පෝරුව උඩ මනමාළිගේ ඔළුව වැනි

නැමි තිබෙන රතු කුරහන් කුමක් වැනි
මගුල් ලගඳි නෑනා ඉස වනන වැනි
කරල් කපා මලු පුරවනු කුමක් වැනි
අතිරස උයා මගුලට එක් කරනු වැනි

කැපූ කුරක්කන් ගෙන යනු කුමක් වැනි
මනමාළිය කැන්ඳාගෙන යන්න වැනි
වංඩුව බැද තැනු පිට්ටුව කුමක් වැනි
මිරිසවැටිය අව්වට දිළිසෙනා වැනි

ගම රාළගේ කට එතකොට කුමක් වැනි
වළාකුලෙන් මතු වි එන සඳක් වැනි
ඒක දැකපු කම්මැලි කට කුමක් වැනි
කරත්තයට අසුවුණ කඡු ලෙල්ල වැනි

කුරක්කන් තමා හේනේ පැහෙන්නේ
නරක්කන් තමා උඹ මට කරන්නේ
කොච්චර නරක්කන් කෙරුවත් බොලන්නේ
කුරක්කන් හේන කපලයි ගමට යන්නේ

ගමේ ගෑනු ඔක්කොම නිදි බොලන්නේ
මගෙ නෙත් දෙකට කවදද නින්ද යන්නේ
ඇයිද ගලේ ඔය හොර දඟ කරන්නේ
ඇටපොතු නැතිව පිටි ඇඹරී වැටෙන්නේ

අඹර කුරක්කන් කලුවේ
ගලවට පිටි කොයි කලුවේ
රොටී හතක් උය කලුවේ
මටත් එකක් දිය කලුවේ

අඹරාලා පිටි පෙට්ටිය ඉසේයා
තම්බාලා සුදු පුස්කොල කනේයා
අන්දාලා සුදු සේලේ ඉනේයා
රටක් වටින රම්මැනිකා කැළේයා

කරේ බලාපන් කලුවේ 
කරවට තැලි කොයි කලුවේ
ගලේ බලාපන් කලුවේ 
ගලවට පිටි කොයි කලුවේ

රෙද්ද උහාලා කෙටි වැටි කරලා 
දණබිම ගහලා ඉඳගත්තේ
පලයන් කියලා තල්ලු කරාලා 
ආයෙත් ළඟට ම ඇද ගත්තේ
උඩින් දමන කොට යටින් බහිනවා 
යනකොට පිහගනමයි යන්නේ
මෙතුන් පදේ තෝරාලා කීවොත් 
කලියුගයට පණ්ඩිත වන්නේ




No comments:

Post a Comment