වලස් දඩයම ~ විමලරත්න කුමාරගම
පූලයි මායි පලු ගස් දෙබලක මැස්සේ
සයිමා සමග කඩියා කැටවළ අස්සේ
අඳුරේ හැම හඬට මගෙ හදවත ගැස්සේ
අඩ හඳ පාළු වන රොද මුදුනට ඉස්සේ
පලු ගහ අවට නැගි මැහි මදුරු නැළවිලි
තරු මල් වලා ගුලි නිල් ගුවන සැරසිලි
වැව් දිය ඇල් මැරී මසු අතර කැලඹිලි
බැලු හැම තැන ම මතු වුණු අමුතු සෙවණැලි
විසිතුරු වලා වැලි කම්මැලි ලෙස පාවේ
කිසියම් සතෙක් තව නැත වැව වෙත ආවේ
දාඩිය ගලා බැස මුලු සිරුර ම නෑවේ
ඈතින් ඇසේ මත් මුව දෙනකගෙ රාවේ
හදිසියෙ දුටිමි කලුවක් වැව වෙත ඇදෙන
වැලහින්නක්ය- ඇය පසු පස දරු දෙදෙන
යන්තම් ඇසුණි හඬ පැටවුන් දිය අදින
කැටවළ තුළින් ඵකණෙහි වෙඩි හඬ නැගිණ
වම් ඉළයට වැටී ගති ඒ වැලහින්න
මම කෑගසිමි කඩියට වෙඩි නොතියන්න
දඟලන අතර ඈ තැති ගෙන නැගිටින්න
දුක්මුසු ලෙසින් හැඬුවා පොඩි දරු දෙන්න
පොඩි පැටවුනුත් ඇදගෙන රැඳෙනු ඉඩ නොදී
ආ කැලයට ම ඵ් මව පැනපි ඇදි ඇදී
කකුලක් කැඩී ගියමුත් ඇයගෙ වෙඩි වැදී
දරු පෙම මරන්නට ඵ් මවට ඵය මදී
හෙමිහිට ඇදී යනතුරු දුරට ම බැද්දේ
හදවත පෙළී පැටවුන් වැළපෙන සද්දේ
සංවේගයෙන් මා සිටි මැස්ස ද පද්දේ
වැළපෙයි කිරල රැළ උඩ පැන වැව මැද්දේ
ගොළුවන් කියන දේ වැටහෙන සවන් පෙතී
මා සතු වෙන්ට ඵදවස සිට පටන් ගතී
දරුවන් දක්න විට සිය මෑණියන් නැතී
ඵ් හැම දෙන ම මගෙ ළග නෑ සියන් වෙතී
- විමලරත්න කුමාරගම මහතා
No comments:
Post a Comment